“යහ ගුණ මාතා” ලෙස අභිමන් ලැබූ දම්පල් අඹරේ පෑයූ ගුරු තරුව
“මිශ්‍ර පාසල් අතරින් මුලූ ලෝකෙවත් නැතිව ඇති මේ තරම් හොඳ, ශීලාචාර ඉස්කෝලයක්. මම ඒක බය නැතිව කියනවා. ඉස්කෝලෙදි සමහර විට ළමයි අපෙන් බැනුම් අහනවා තමයි. ඒත් තැනකට ගියාම රත්තරන් ළමයි.” ධර්මපාල විද්‍යාලය පිළිබඳවත් දම්පල් දූ පුතුන් පිළිබඳවත් මෙතරම් ආදරයකින් වදන් පෙළගස්වන්නී අන් කවරෙකුත් නොව ධර්මපාලයට ඉමහත් සේවයක් ඉටුකළ මාලිනී ආටිගල අබයරත්න ගුරු මෑණියන් ය. දම්පල් මව්න් සෙවනේ සිප් සතර හදාරා එහිම ගුරුතුමියක් ලෙස දහස් ගණනක් දූ දරුවන්ට යහමඟ පෙන්වූ ඇය අද විශ්‍රාම සුවයෙන් පසුවන්නීය. ධර්මපාලය පිළිබඳ සිය මතකය ආවර්ජනය කරන්නට අපි ඇයට ඇරයුම් කළෙමු. මේ දිගහැරෙන්නේ ඒ කතාබහයි.
ඔබතුමිය ධර්මපාල විද්‍යාලයේ දීප්තිමත් ආදිශිෂ්‍යාවක්. පාසල් කාලය ගැන ඔබතුමියගේ
මතකය අවදි කළොත්…
මම හෝඩිය පන්තියට ඇතුළු වෙන්නෙ 1947 පෙබරවාරි හය වැනිදා. එතකොට හිටපු විදුහල්පතිතුමා තමයි ජී. සී. එදිරිසිංහ මහතා. දොඹ ගස්, අඹ ගස් දෙපසින් තිබුණු අඩිපාරෙ තමයි අපි ඉස්කෝලෙ ගියේ. ඒ දවස්වල මේ ගම හරි ලස්සනයි. ඒ කාලෙ එක පන්තියක ළමයි දහදෙනෙක් වගේ තමයි හිටියේ. පාසලේ විවිධ වසර වල දී පන්ති නායිකාවක් වශයෙන් කටයුතු කළා. මම හිටියේ මෞර්ය නිවාසයේ. ක්‍රීඩා තරග වලින් නම් දිනලා නැහැ. නමුත් ගීත ගායනා තරග වලින් ප්‍රථම ස්ථානය ලබාගෙන තියෙනවා. සාහිත්‍ය සංගමයේත් ක්‍රියාකාරීව කටයුතු කළා. ඒ කාලේ ලයනල් රංවල මහතාගේ “ඉනා බෙහෙත” නාට්‍යයේ රංගනයට මමත් දායක වුනා. 1964 වර්ෂයේදී උසස්පෙළට පෙනී සිටියා.
පාසල් කාලයේ අත්දැකීම් ගැනත් අපි කතා කරමු.
ගෙදරටම කොටු වෙලා හිටපු මට සමාජ ආශ්‍රය ලැබුණේ පාසලෙන්. ප්‍රාථමික අංශයේ ඇරැව්වල පැත්තට කන්දක් වගේ තිබුණා. ඉතිං අපි ඉන්ටවල් එකේදී ඒ කන්ද දිගේ ඔහේ දුවනවා. සමහර වෙලාවට එතන තිබුණු වැටත් කඩනවා. ඉතිං ඒ කාලෙ හරි සුන්දරයි. දැන් වගේ පහසුකම් නැති වුනත් ඒ කාලෙත් අපේ පාසල හැම අතින්ම හොඳයි. ඒ දවස්වල අපිත් එක්ක පාසලේ හිටපු අය අතරින් කෙනෙක් තමයි ඔලිවර් රණසිංහ මහතා. තව ගොඩක් අය ඉන්නවා. මට නම් වශයෙන් හරියටම මතක නැහැ.
ගුරු වෘත්තියට පිවිසීමෙන් පසුව ඔබ උගත් පාසලේම සේවය කිරීමට ඔබතුමියට අවස්ථාව ලැබෙනවා. ඒ අත්දැකීම ගැන අපට කියන්න.
1964 වර්ෂයේදී උසස් පෙළට පෙනී සිටියත් ඉන් පස්සේ රැකියාවක් කරනවාට දෙමාපියන් කැමති වුනේ නැහැ. ඒ නිසා ටික කලක් ගෙදරට වෙලා හිටියා. 1983 වසරේ දී ගුරු විදුහලට තෝරාගැනීමේ විභාගයෙන් ඉහළ ලකුණු ලබාගෙන මහරගම ගුරු විදුහලට ඇතුළත් වෙන්න මට හැකි වුනා. එහි තුන් අවුරුදු පුහුණුවෙන් පසුව දුෂ්කර සේවයට රත්නපුර දිස්ත්‍රික්කයට යන්න වුනා. 1987 වසරේ තමයි මට ධර්මපාල විද්‍යාලයට සේවය කරන්න අවස්ථාව ලැබෙන්නේ. මම හරිම ආසාවෙන් මගේ පාසලේ සේවයට එක්වුනා. මිශ්‍ර පාසලක්නේ. පොඩි පන්ති වල දී ගැහැණු ළමයි පිරිමි ළමයි ගහගන්නවා. ඒත් නවය දහය පන්තිවලට යද්දි හරිම එකමුතුයි. 2002 දක්වාම මම ධර්මපාලයේ සේවය කළා. ඒ කාලය තුළ අධ්‍යාපන මෙන් ම විෂය බාහිර ක්‍රියාකාරකම් අතිනුත් සැලකියයුතු සේවයක් කරන්න මට හැකිවීම ගැන ලොකු සතුටක් තියෙනවා.
පාසල් ඉතිහාසයේ බොහෝදෙනෙක් ඔබතුමිය හඳුනන්නේ සෞඛ්‍යදානය තුළින් ඉමහත් සේවයක් ඉටුකළ ගුරුතුමියක් විදියට. අපි ඒ මතකය අවදි කරමු.
සෞඛ්‍යදාන ඒකකය බාර ගුරුතුමිය වශයෙන් මම බාරගත්තේ විශාල වගකීමක්. එහිදී මම සෞඛ්‍යදානයේ සාමාජික දරු දැරියන් සමග පාසල තුළත් ඉන් පිටතත් ප්‍රථමාධාර ලබාදීම, සෞඛ්‍ය කඳවුරු වලට සහභාගී වීම හා වෙනත් සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු රැසක් සිදු කළා. සමහර ළමයි පීරියඞ් එකක් කට් කරන්න ඕන වුනාමත් බඩ අල්ලගෙන සෞඛ්යදානෙට එනවා. ඉතිං මම අහනවා ගණං බඬේ අමාරුවද, ඉංග්‍රීසි බඬේ මාරුවද කියලා. සෞඛ්‍යදානයේ මම පුහුණු කරපු හොඳ නායකයෝ හිටියා. එයාලා හැකි හැම වෙලාවෙම සෞඛ්‍යදාන ඒකකයට ඇවිත් සේවය කළා. ඒකකයට අවශ්‍ය බෙහෙත් ගන්න අපි කැට වලට සල්ලි එකතු කරනවා. එහෙම කැට අරගෙන යනකොට සමහර අය අපහාස කරපු අවස්ථා, බැනපු අවස්ථා තිබුණා. ඒත් අපි අපේ සේවය කරගෙන ගියා. දවසක් ඉස්කෝලෙ ඉස්සරහ ගේට්ටුව ළඟ කහ ඉර උඩ වාහනයක් කඩාගෙන බිඳගෙන ගිහිල්ලා, ළමයෙක් වැටිලා ඉන්නවා. ළමයාට සිහිය නෑ. හැමෝම කෑගහනවා. ඒ වෙලාවෙම පිටිපස්සෙන් ආපු වෑන් එකකට ළමයා දාගත්තා. මම කෑගහලා කිව්වා “ප්‍රින්සිපල් සර්ට පණිවිඬේ කියන්න, මම ළමයා හොස්පිටල් ඇඞ්මිට් කරන්න යනවා” කියලා. ඉතිං ළමයා ඇඞ්මිට් කරලා එයාගෙ අම්මලා එනකන් මම ළඟ හිටියා. ළමයාගේ ගෙදරට පණිවුඬේ කිව්වට කවුරුත් මගේ ගෙදරට පණිවුඬේ කියලත් නෑ. ඉතිං ඒ වගේ මම කවදාවත් ළමයෙක්ට අසනීප වුණ වෙලාවට දාලා ගිහින් නෑ. පාසල් සෞඛ්‍යදාන ඒකකයේ හතළිස්වන සංවත්සරය අපි ඉහළින්ම සැමරුවා. ඒක හැමෝම අගය කළා. ඒ වගේම ශ්‍රී ලංකාවේ පනස්වන නිදහස් සමරු උළෙලේදීත් අපේ සේවය ඉතා ඉහළින් අගය කරමින් ජනාධිපති අතිරේක ලේකම් නියන්ගොඩ මහතා මටත් සෞඛ්යාදානයේ සිසු දරුදැරියන්ටත් පැසසුම් සහතික ප්රදානය කළා.
බැඞ්මින්ටන් ක්‍රීඩාව භාර ගුරුතුමිය ලෙසත් ඔබතුමිය කාලයක් කටයුතු කළා නේද?
ඔව්, ඉස්සර අපිට බැඞ්මින්ටන් කෝට් එකක් තිබුණෙ නෑ. හෝල් එකයි ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එකයි අතරෙ ලණු ඇදලා බොරලූ ගොඬේ තමයි සෙල්ලම් කළේ. ඉතිං ළමයි වැටිලා තුවාල වෙනවා. ඒ ළමයින්ව සෞඛ්යදානෙට ගෙනිහින් බෙහෙත් කරනවා. පස්සෙ අමාරුවෙන් සල්ලි එකතු කරලා කෝට් එක හැදුවා. මම ළමයින්ගෙ වගකීම බාරගෙන පුහුණු කඳවුරුවලට ගෙනියනවා. අම්මලා හරියට අගයකළා ළමයින්ව වගකීමෙන් ආරක්ෂා කිරීම ගැන. ඉස්කෝලෙ වාහනේ නැතිවුනාම අපේ ගෙදර වාහනෙන් ළමයින්ව එකකරගෙන යනවා තරග වලට. හිටපු විදුහල්පති විමලසේන මහත්මා අපට ගොඩක් උදව් කළා. මට පුලූවන් වුනා බැඞ්මින්ටන් වලින් ඊ ඩිවිෂන් හිටපු අපේ පාසල සී ඩිවිෂන් දක්වා ගෙනයන්න. ලංකාවෙ ප්‍රධාන පාසල් එක්ක තරග කරලා අපි ජයග්‍රහණය කළා. සමස්ත ලංකා තරග දිනුවා. ඒක ළමයින්ට ලොකු අභිමානයක් වුනා.
ඊට අමතරව මම ශිෂ්‍ය නායක ඛණ්ඩයේ අනුශාසක වශයෙනුත් කටයුතු කළා. ඒ සඳහා නෝමන් රණසිංහ ගුරු මහත්මාගෙන් ලැබුණු සහයෝගය අගයකළ යුතුයි.
ඔබතුමිය විශ්‍රාම දිවියක් ගතකළත් තවමත් පාසලේ කටයුතු වලට සම්බන්ධ වෙනවා. ඔබගෙන් අධ්‍යාපනය ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හමුවූ විට ලැබෙන ප්‍රතිචාර කෙබඳු ද?
මම ළමයින්ට ආදරෙයි වගේම ළමයිනුත් මට ආදරෙයි. සමහර ළමයින්ව දැන් මට මතකත් නැහැ. ඒත් මුණගැහුණාම ඒ ළමයි දුවගෙන ඇවිත් කකුල් දෙක ළඟ වැඳ වැටෙනවා. ඒක හදවතින්ම එන දෙයක්. ඉතිං හරිම ආසයි. මට ඒ ළමයි ගැන විශාල ආදරයක් වගේම ගෞරවයකුත් ඇතිවෙනවා. මම ගරු කරනවා ළමයින්ට. මගෙන් ඉගෙනගෙන ඉහළ තැන්වල ඉන්න ළමයින්ට මම සර් කියලා කතා කරලා බැනුම් අහලාත් තියෙනවා “ඇයි ටීච එහෙම කතා කරන්නෙ, මම සර් නෙවෙයි. ටීචගෙන් ඉගෙනගත්තු ළමයෙක්” කියලා.
වර්තමානයේ පාසල් අධ්‍යාපනය ලබන දරු දැරියන්ට ඔබතුමිය ලබාදෙන උපදේශය කුමක්ද?
එකම දේ තමයි ගුරුවරයා උගන්වන වෙලාවට වෙනත් දේවල් හිතන්නේ නැතිව ගුරුවරයාට ඇහුම්කන් දෙන්න. බැරි දේ අහන්න. ගුරුතුමිය අම්මෙක් කියලා හිතන්න. එය තමයි අධ්‍යාපනය ලබන දූ දරුවන්ට දෙන්න තියෙන උපදේශය. තමා උගත් පාසලේම ගුරුවරියක ලෙස කටයුතු කරමින් දැඩි කැපවීමකින් ඉටු කරන ලද සේවාව වෙනුවෙන් මාලිනී අබයරත්න ගුරු මෑණියන් “යහගුරුමාතා” සම්මානයෙන් ද පිදුම් ලැබීය. හෝරාවකට අධික කාලයක ආදරණීය කතාබහ නිමාකොට සමුගන්නා අවස්ථාවේ එතුමිය අපගෙන් කළ ඉල්ලීම වූයේ එතුමිය යටතේ සෞඛ්‍යදානය, ශිෂ්‍ය නායක ඛණ්ඩය හා බැඞ්මින්ටන් කණ්ඩායම්වල කටයුතු කළ දූ දරුවන්ට එතුමිය අමතන්නැයි දැනුම් දෙන ලෙසයි. පෙරමග අපි මේ ආදරණීය ගුරු මෑණියන්ට නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ පතමු.
-සංජය ද සිල්වා, උදාර කත්‍රිආරච්චි
Leave a Reply