Covid-19 සමයේ නූතන අධ්‍යාපනයේ දිශානතිය

Covid-19 සමයේ නූතන අධ්‍යාපනයේ දිශානතිය

අධ්‍යාපනය යනු අප ජීවිතයේ වඩාත්ම බලවත් අවියයි. සෑම දෙයක්ම පිටුපස ඇති අරුත සොයා ගැනීමට අධ්‍යාපනය හරහා අපට ඉඩ සැළසෙන අතර, ලොව සෑම දෙනෙකුගේම ජීවිත විශාල පරිවතනයකට ලක් කිරීමට අධ්‍යාපනයට සුවිශේෂී හැකියාවක් ඇත.

එසේම අධ්‍යාපනය අපට අවට ලෝකය පිළිබඳව අවබෝධයක් ලබාදෙන අතර, එම දැනුම ඥාණාන්විතව භාවිතා කිරීමෙන් අපේ ජීවිතය නිවැරැදි දිශාවට යොමු කරගැනීමට අපට හැකියාව ලැබෙයි.

කෙනෙකුගේ ජාතිය, ආගම හා ස්ත‍්‍රී පුරුෂ භාවය කුමක් වුවත්, ඔහුට හෝ ඇයට ලොව විවිධ තරාතිරම්වල සිටින අනෙක් සියලූම පුද්ගලයන් හා එක සමානව එකට සිටගැනීමට ඉඩ හසර ලබාදෙන්නේ අධ්‍යාපනය මගිනි. ඒ අනුව සමස්ථයක් ලෙස ගතහොත් අධ්‍යාපනය යනු සියලූ බාධක පරාජය කිරීමට හැකි වේදිකාවකි.

මෙයට බොහෝ කලකට පෙර අධ්‍යාපනය යනු සමාජයේ එක්තරා කොටසකට පමණක් සීමාවූ “වරප‍්‍රසාදයක්’” ලෙසින් සැළකුණත් වර්තමානය වන විට එය දුප්පත් පොහොසත් භේදයකින් තොරව සැමටම භුක්ති විඳිය හැකි “අයිතිවාසිකමක්” බවට පත්ව ඇත.

ඇති නැති පරතරය මැනවින් කියාපාන අධ්‍යාපනය

නොමිලේ අධ්‍යාපනය ලැබීම ශ්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් මූලික අයිතිවාසකමක් ලෙසින් සඳහන් කර නැතත්, “නූගත්කම මුළුමනින්ම තුරන් කිරීම සහ සියලූ මට්ටම්වල අධ්‍යාපනය සඳහා විශ්වීය සහ සමාන ප‍්‍රවේශයක් සඳහා ඇති අයිතිය පිළිබඳව සියලූම පුද්ගලයන්ට සහතික වීම” යනුවෙන් වගන්තියක් ඊට ඇතුළත් කොට ඇත. ශ්‍රී ලංකාවේ අපට ප‍්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා නොමිලේ ලබාගැනීමට අපට හැකියාවක් ලැබී ඇත්තේ ඒ අනුවය.

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ රජයේ පාසල් 10,012 ක් ඇති අතර ඒවායේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් සංඛ්‍යාව මිලියන 4.2 කට අධිකය. මෙම දුවා දරුවන්ගේ නුවණැස පාදන ගුරුවර ගුරිවරියන්ගේ සංඛ්‍යාව 235,924 කි.

වර්තමානයේදී අප රටේ දකින්නට ලැබෙන අධ්‍යාපන පද්ධතියේ ඉතිහාසය යටත්විජිත අවධිය දක්වා දිව ගියද, ගෝලීය අධ්‍යාපන ක‍්‍රමය සමග සැසඳීමේදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ක‍්‍රමය තවමත් නිසි පරිදි යාවත්කාලීන වී ඇති බවක් පෙනෙන්නට නැත. ගෝලීය මට්ටම හා සැසඳීමේදී අපේ රටේ පාසල් නවීන තාක්ෂණය ප‍්‍රමාණවත් පරිදි උපයෝගී කර නොගන්නා නිසා ශ්‍රී ලංකාව සහ සෙසු ලෝකය අතර තාක්ෂණික හිඩැසක් නිර්මාණය වී ඇත.

එහෙත් කොවිඞ්-19 ව්‍යාප්තියත් සමගම පෙර පාසල් අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා වූ සමස්ථ අධ්‍යාපන පද්ධතියටම මේ වන විට නවීන තාක්ෂණ ක‍්‍රමවේදයන් අත්හදා බැලීමේ ඇති වැදගත්කම අවබෝධ වී තිබීම සැළකිය යුතු වර්ධනයක් බව පැවැසිය යුතු ය. මෙහිදී අප මුහුණ පා සිටින අභියෝග බොහෝය. වසංගත තත්ත්වය හේතුවෙන් පාසල් සහ විශ්වවිද්‍යාල වසා දමා ඇති තත්ත්වයක් තුළ පෙර පාසල් සිසුන්ගේ සිට විශ්ව විද්‍යාල සිසුන් දක්වා වූ සමස්ථ ශිෂ්‍ය ප‍්‍රජාවටම මාර්ගගත ක‍්‍රමය ඔස්සේ අධ්‍යාපනය ලැබීමට සිදුව ඇතත්, ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික තත්ත්වය හේතුවෙන් ඔවුන් සියලූ දෙනාටම එම අවස්ථාව එකසේ ලැබෙනවාද? යන ගැටළුවට මේ වන විට අප මුහුණ පා සිටියි.

මාර්ගගත අධ්‍යාපනයේ අභියෝග

මාර්ගගත අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය කරන උපකරණ බහුල නොවීම, අන්තර්ජාල පහසුකම් සපයන ආයතනවල ආවරණ කලාපය සීමාසහිත වීම මෙන් ම මාර්ගගත අධ්‍යාපනය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු තුළ ප‍්‍රමාණවත් දැනුමක් නොමැති වීම ද මේ වන විට අප මුහුණ පා සිටින ගැටළු අතර වෙයි.

මාර්ගගත අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය කරන මෙවලම් හිඟ සහ සේවා ආවරණ කලාපයෙන් බැහැරව සිටින ග‍්‍රාමීය පාසල්වල ඉගෙන ගන්නා දරුවන් වෙනුවෙන් රූපවාහිනය වැනි ශ‍්‍රව්‍ය දෘෂ්‍ය ක‍්‍රමවේදයන් ඔස්සේ අධ්‍යාපනය ලබාදීම වඩා පිළිගත හැකි විකල්පයක් ලෙසින් පෙනී ගියත්, එහි ඵලදායීතාවයද සීමාසහිතය.

අධ්‍යාපනය සඳහාම වෙන්වූ රූපවාහිනී නාළිකා නොමැති වීම, දැනට තිබෙන රූපවාහිනී නාළිකාවල වෙනත් වැඩසටහන් අතරතුර අධ්‍යාපන වැඩසටහන් සඳහා ගුවන් කාලය වෙන් කර ගැනීමේ ගැටළුව, රූපවාහිනිය ඔස්සේ විෂය කරුණු උගන්වන ගුරුවරුන්ගේ උදාසීන ඉගැන්වීමේ ශෛලිය මෙන් ම සම්මත පංති කාමරයකදී මෙන් ගුරුවරයා සහ ළමයින් අතර අන්තර් ක‍්‍රියාකාරීත්වයක් නොමැති වීම ද රූපවාහිනිය හරහා ඉගැන්වීමේදී මුහුණ පෑමට සිදුවන ගැටළුය.

ඒ හැරුණු කොට මාර්ගගත සහ රූපවාහිනිය හරහා අධ්‍යාපනය ලබාදීමේදී මුහුණ දීමට සිදුවන ප‍්‍රබලම ගැටළුව වන්නේ දරුවන්ගේ සමාජ කුසලතා සහ පෞරුෂය වර්ධනය නොවීමයි.

පාසල් යන වයසේ දරුවෙක් පාසලෙන් අධ්‍යාපනයට අමතරව තවත් බොහෝ දෑ තම ජීවිතයට උකහා ගන්නා අතර, කණ්ඩායමක් ලෙසින් වැඩ කිරීම, ශාරීරික ක‍්‍රියාකාරකම්, පෞරුෂ වර්ධනය, සමාජ කුසලතා සහ සමාජය සමග ගැටීමේ මූලික පාඩම් දරුවා අත්පත් කරගන්නේ පාසලෙන් සහ පංති කාමරයෙනි.

එබැවින් කොවිඞ්-19 වසංගත තත්ත්වය පහව යනතුරු අධ්‍යාපනය ලබාදීම සඳහා දැනට ඉතිරිව ඇති හොඳම විකල්පය වන මාර්ගගත අධ්‍යාපනය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය කරන යටිතල පහසුකම් සංවර්ධනය කරන අතරම, රට තුළ දරුවන්ට රෝග බියකින් තොරව යළි පාසලට පැමිණ අධ්‍යාපනය ලැබිය හැකි සුරක්ෂිත වටපිටාවක් නිර්මාණය කිරීමට රජය කටයුතු කළ යුතු ය. අනෙක් අතට කොවිඞ්-19 වැනි ගෝලීය වසංගත තත්ත්වයක් නිසි පරිදි පාලනය කිරීමට රජයට පමණක් හැකියාවක් නොමැති නිසා, මවුපියන් සහ වැඩිහිටියන් ලෙසිට අපි අපේ සහයෝගය රජයට ලබාදිය යුතු ය. අපේ දරුවන්ට යළි පාසල් ගොස් විෂය කරුණුවලට අමතරව සමාජ කුසලතාද ජීවිතයට එකතු කරගෙන, සාර්ථක මිනිසෙකු ලෙසින් සමාජය සමග මුහු වීමට හැකියාවක් ලැබෙන්නේ එවිටය.

– වත්සලා රාජගුරු

Share this post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *