K.G. විමලසේන

රම්‍ය විදුහලට වසන්තය කැන්දන් ආ අපේ කාලයේ නියමුවා

K.G. විමලසේන

වසර 80ක ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ස්වර්ණමය යුගය උදාකළ, හිටපු විදුහල්පති K.G. විමලසේන ගුරු පියාණන්, වසර 29ක තම සේවා කාලය නිමකොට පසුගිය ඔක්තෝබර් 10 වනදා විශ‍්‍රාම දිවියට එළඹිණි.

1992 වර්ෂයේ තම උපන්බිම වන රත්නපුර, කිරිඇල්ල ප‍්‍රදේශයේ එපිටවල මහා විද්‍යාලයේ උපාධිධාරී ගුරුවරයෙකු ලෙස සේවයට එක්වූ එතුමා, 1993 වර්ෂයේදී අධ්‍යාපන පරිපාලන සේවා විභාගයෙන් සමත් විය. එතුමා අප විද්‍යාලයත් සමඟ මුලින්ම සම්බන්ධ වන්නේ 1994 වර්ෂයේදී නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු වශයෙනි. නමුත් 1995 වසරේ දී, එවකට විදුහල්පති S.H. කුමාරසිංහ මහතා නික්ම යාමත් සමඟ, 1995 වර්ෂයේ පාසලේ වැඩ බලන විදුහල්පතිවරයා වශයෙන් සේවය කළේය. 1997 වසරේ දී පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් වැඩ භාරගන්නා එතුමා, අප විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් නැවත වරක් 2004 වර්ෂයේදී පත්විය.

2004 වර්ෂයේ අප විද්‍යාලයට ස්වර්ණමය යුගයක් උදා කරමින් විදුහලේ මුල් පුටුව හෙබවූ එතුමා, 2016 වනතෙක් වසර 12කට අධික කාලයක් පාසැල වෙනුවෙන් සිදුකලේ අද්විතීය සේවාවකි. වසර 12කට අධික සේවා කාලයක් තුළ, වැඩිම කලක් එම තනතුර දරූ විදුහල්පතිවරයා ලෙස එතුමා විදුහල් ඉතිහාසයට එක්වේ. මෙම කාල සිමාව තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන, ක‍්‍රීඩා සහ සෞන්දර්යාත්මක කෞශල්‍යයන් ඉහළ තලයකට ගෙන එමින්, පාසැල තුළ අද්විතීය භෞතික සම්පත් සංවර්ධන ක‍්‍රියාදාමයකට නායකත්වය ලබාදීමට විමලසේන මැතිතුමාට හැකියාව බිණි. ආදි ශිෂ්‍යයන්, දුවා දරුවන් සහ දෙමාපියන්ගේ දැඩි ඉල්ලීම මත නැවත වරක් එතුමා අප විද්‍යාලයට පැමිණෙන්නේ 2020 වර්ෂයේ පෙබරවාරි මාසයේදීය. එතැන් සිට, විශ‍්‍රාම යනතෙක්ම, COVID වසංගතය රැගෙන ආ නොයෙක් අභියෝග මධ්‍යයේ, පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මාර්ගගත අධ්‍යාපන ක‍්‍රමය (Online Education) යටතේ අඛණ්ඩව පවත්වාගෙන යාමට එතුමාට හැකිවිය. “පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය හා සම්බන්ධ වීමට ලැබීම මා ලද මහඟු‍ භාග්‍යයකි. දෙමාපියන්, දූ දරුවන් සහ ආදි ශිෂ්‍යයන් සමඟ එක්වී, අපේ පාසල සෑම ක්ෂේත‍්‍රයකින්ම අංග සම්පුර්ණ වූ විශිෂ්ටතම මිශ‍්‍ර පාසලක් බවට පත් කරන්නට මට හැකියාව ලැබුණා. අධ්‍යාපන, ක‍්‍රීඩා සහ සෞන්දර්ය අංශවලින් පමණක් නොව, පාසැල තුළ විශාල භෞතික සම්පත් සංවර්ධන ක‍්‍රියාවලියක් සිදු කරමින්, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ලංකාවේ පාසල් අතර ඉහළම තැනකට රැගෙන ඒමට හැකිවීම මා ලද විශාල ජයග‍්‍රහණයක්.”‍ එතුමා අප සමඟ පැවසිය.

K.G. විමලසේන මැතිතුමා විදුහල්පතිව සිටි කාල සිමාව තුළ සිදුවූ අතිවිශිෂ්ට සේවයෙන් බිඳක් පහත දැක්වේ.

භෞතික සම්පත් සංවර්ධනය

K.G. විමලසේන මැතිතුමාගේ මග පෙන්වීම යටතේ පාසැල තුළ 20කට අධික වූ ගොඩනැගිලි ප‍්‍රමාණයක් ඉදිවිය. මෙමගින් පාසලේ පැවති ගොඩනැගිලි ඌනතා රාශියක් සපුරාලීමට හැකිවිය. මෙයට පිහිනුම් තටාකය සහ ජීවිත ආරක්ෂක පුහුණු මධ්‍යස්ථානය, නවීන ආපනශාලාව සහිත තෙමහල් ගොඩනැගිල්ල, පුස්තකාලය, පරිගණක සම්පත් මධ්‍යස්ථානය සහ විද්‍යාගාර සහිත තෙමහල් ගොඩනැගිල්ල, අංගසම්පුර්ණ ගෘහස්ථ බැඞ්මින්ටන් සහ ජිම්නාස්ටික් ක‍්‍රීඩාගාර වැනි වටිනා භෞතික සම්පත් රාශියක් අයත්වේ. මිට අමතරව පාසලේ අභ්‍යන්තර මාර්ග පද්ධතිය නවීකරණය කිරීම, හයිලෙවල් පාරට යාබද මායිම් තාප්පය සහ ගේට්ටු ආකර්ශනීය ලෙස සැකසීම, විවිධ විෂයන් සහ අමතර ක‍්‍රියාකාරකම් සඳහා අවශ්‍ය පන්ති කාමර සහ ගොඩනැගිලි ඉදිකිරීම, දුවා දරුවන්ගේ සනීපාරක්ෂක කටයුතු සඳහා වැසිකිලි සහ කැසිකිළි පද්ධතිය නවීකරණය කිරීම, දරුවන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම දියුණු කිරීමට පරිගණක විද්‍යාගාර ඉදිකිරිම වැනි කටයුතුවලට සුවිශේෂී නායකත්වයක් ලබාදුනි.

එතුමාගේ කාලයේදී පාසල් භූමිය තුළ ඉදිකර තිබූ Zeeda ගොඩනැගිල්ල දීර්ඝ කාලීන උත්සහයකින් පසුව නැවතත් පාසලට ලබාගෙන විද්‍යාලීය දූ දරුවන්ගේ සෞන්දර්ය කුසලතා ඔප්නැංවීම වෙනුවෙන් යොදවා ඊට අවශ්‍ය පහසුකම්ද සපයන ලදී. මීට අමතරව පසුගිය අගෝස්තු මාසයේදී ජාතික ශිෂ්‍ය භට කණ්ඩය විසින් පරිහරණය කරන ලද පාසලට අයත් පර්චස් 100ක් වන බිම් කොටස සහ එම ගොඩනැගිල්ල නැවතත් පාසැල වෙත ලබාගැනීමට නායකත්වය ලබාදෙන ලදී. එතුමාගේ කාලයේදී ආරම්භ කරන ලද ක්‍රීඩා පිටිය සංවර්ධන ව්‍යාපෘතිය මේ වනවිට අතිශය ඵලදායී ව්‍යාපෘතියක් වී ඇත. වියලි කාලවලදී ක්‍රීඩා පිටියට ජලය සැපයීම සඳහා ඉදිකරන වගා ලිඳට අවශ්‍ය පර්චස් 02ක බිම් කැබැල්ලක් පරිත්‍යාගයක් ලෙස විදුහල් භූමියට එක් කරගැනීමටද මෙතුමාට හැකිවිය. එම භූමියේ ලිඳක් කපා ක්‍රීඩා පිටියේ තණ තීරුවට ජලය සැපයීමට ඉදිරියේදී හැකිවනු අතර, එම කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතී.

මෙවැනි වටිනා සහ ඵලදායී සංවර්ධන ක‍්‍රියාවලින් නිසා 2010 වසරේ දී අප පාසලට NDO නෙදර්ලන්ත ආයතනය විසින් ISO 9001 ජාත්‍යන්තර තත්ත්ව සහතිකය පිරිනමන ලදී. මෙමගින් එතුමාගේ දක්ෂ පරිපාලන හැකියාවන් පිළිබඳව මනා ලෙස සනාථ විය.

අධ්‍යාපනය

පාසලේ අ.පො.ස (සා.පෙළ) විභාග ප‍්‍රතිඵල 75% සිට 99% දක්වා වර්ධනය කිරීමටත්, අ.පො.ස (උ.පෙළ) සමත්ව විශ්ව විද්‍යාල ප‍්‍රවේශය ලබාගත් සිසුන් සංඛ්‍යාව 35 සිට 110 දක්වා වර්ධනය කිරීමට K.G. විමලසේන මැතිතුමාට හැකිවිය. පන්ති අධීක්ෂණය මගින් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය නැංවීම සහ විවිධ දක්ෂතා ඇති සිසුන්ගේ හැකියාවන් පන්ති කාමරයේදීම හඳුනාගැනීමට ක‍්‍රමවේද සකස් කර, සිසුන්ගේ සටහන් පොත් එතුමා ඇතුළුව කළමනාකරණ මණ්ඩලය විසින් පරික්ෂා කර අත්සන් තබා ඔවුන්ට අදාල මග පෙන්වීම සිදුකරන ලදී.

ක‍්‍රීඩා

මෙතුමාගේ කාලයේදී ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ මල්ඵල හටගත් කාලයක් බව කටත් නොරහසකි. දැල්පන්දු, මළල ක‍්‍රීඩා, ජිම්නාස්ටික් සහ චෙස් වැනි ක‍්‍රීඩා රාශියක් නියෝජනය කරමින් පාසලේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් කලාප, පළාත්, සමස්ථ ලංකා, ජාතික සහ අන්තර්ජාතික ජයග‍්‍රහණ රැසක් පාසැල වෙත ගෙන ඒමට අවශ්‍ය නායකත්වය සහ පහසුකම් සපයන ලදී. පිහිනුම් තටාකය සහ ජීවිත ආරක්ෂක පුහුණු මධ්‍යස්ථානය, අංගසම්පුර්ණ ගෘහස්ථ බැඞ්මින්ටන් සහ ජිම්නාස්ටික් ක‍්‍රීඩාගාර, පැසිපන්දු පිටිය, නවීකරණය කරන ලද දැල්පන්දු සහ වොලිබෝල් පිටි ගොඩනැගුනේ මෙතුමාගේ කාලයේදීය. එමෙන් ම ක‍්‍රීඩා පිටිය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට මුලිකත්වය ගනිමින්, මාතර රාහුල විද්‍යාලය සමඟ පවත්වන මහා ක‍්‍රිකට් තරඟය ආරම්භ කිරීමටත් නායකත්වය ලබාදුනි.

සෞන්දර්ය

සිසුන්ගේ මෙන් ම ගුරු භවතුන්ගේ සෞන්දර්ය දක්ෂතා කුළු ගැන්වෙන සංකලන, සමනල සංකලන (ප‍්‍රාථමික අංශයේ දරුවන් සඳහා) සහ ගුරු සංකලන වැනි සුවිශේෂී ප‍්‍රසංගයන් බිහි කරමින්, වර්තමානය දක්වාම ඒවා සුවිශේෂී අංගයන් ලෙසින් පවත්වාගෙන ඒමට කටයුතු කරන ලද්දේ මෙතුමා විසිනි. සෞන්දර්ය සහ කලා ක්ෂේත‍්‍රයේදී විද්‍යාලීය නාට්‍ය, නර්තන, ගායන සහ වාදන කණ්ඩායම් ජාතික තලය දක්වා ගෙනයාමට කටයුතු කරමින්, විද්‍යාලීය දුවා දරුවන් ශ‍්‍රී ලාංකීය මාධ්‍ය, සංගීත, නර්තන සහ නාට්‍ය ක්ෂේත‍්‍රයන්හි දැවැන්තයින් කිරීමට අවශ්‍ය මග පෙන්වීම නො පිරිහෙලා ඉටුකරන ලදී. 2014 වසරේ දී පාසලේ දරුවන් දෙදෙනෙකු සහභාගී කරගනිමින්, පණ්ඩිත අමරදේව සහ ආචාර්ය රෝහණ වීරසිංහ වැනි දැවැන්තයින් සමගින් සම්බන්ධ වී කළ ගීත කැසට් පටිය එතුමා අදත් ඉතාමත් සෙනෙහසින් සිහිපත් කරයි.

අප විද්‍යාලයේ දියුණුව වෙනුවෙන් පෙරමග දශක කණ්ඩායම සමඟ එක්වී වසර ගණනක් පුරා පාසලේ ප්‍රධාන ව්‍යාපෘති රැසක් K.G. විමලසේන මැතිතුමාගේ නායකත්වය යටතේ ඉටුකිරීමට ලැබීම අපි සියලු දෙනාම ඉතා භාග්‍යයක් කොට සලකනවා. දම්පල් පින්බිම, සෑම අතින්ම රම්‍ය විදුහලක් කිරීමට මෙතුවක් කල් උරදුන් ගුරු පියාණෙනි, ඔබට චිරං ජයතු!

– හියල් බියගමගේ

Share this post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *